මිනිසුන් විසින් මරා දමන මිනිසුන්ගේ දරුවන්
ත්‍රස්තවාදී වූ සිරියානු සිවිල් යුද්ධය
හද කම්පාකරවන මරාදැමුනු හා තුවාල වුනු සිරියන් දරුවන්ගේ චායාරූප මුහුණු පොත පුරා ඊයෙත් අදත් සැරිසරනවා දුටුවෙමි. මෙය ලෝකය පුරා කතාබහට ලක්වීමට බලපෑ කාරණාව වන්නේ පසුගියදා ghouta ප්‍රදේශයට සිරියානු ජනාධිපති බශාර් අල් අසාර්ඩ්ට ප්‍රමුඛ රජයට පක්ෂ පාර්ශව විසින් හෙලනු ලැබූ බෝම්බ වලින් දරුවන් 120ක් ඇතුළු 500කට අධික සිරියානු වැසියන් ඝාතනය වීමත් සමඟමයි. ගලවාගැනීමේ කණ්ඩායම් පවසන පරිදි මෙම සංඛ්යාව ඔවුන්ට වාර්තා වූ ප්‍රමාණය පමණක් වන අතර මියගිය තවත් විශාල පිරිසක් සිටින බවයි. ගලවාගැනීමේ කණ්ඩායම්වලට හිරවූ තුවාල වූ මිනිසුන් බේරාගැනීමට යාම පමා වී ඇත්තේ තව දුරටත් ප්‍රහාරක ගුවන් යානා අහසේ සැරිසරන බැවිනි. මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ වෛද්‍ය මධ්‍යස්ථානය හා වෛද්‍යවරුන් විසින් තුවාලකරුවන්ට ප්‍රතිකාර කරමින් සිටි තාවකාලික ස්ථානවලටය. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අවතැන්වුවන් සඳහා වෛද්‍ය ආධාර, ආහාර ලබාදීමට තාවකාලික සටන් විරාමයක් ඉල්ලීමට මොහොතකට පෙරය. සිරියාවේ සාමාන්‍ය වැසියන් හා ළමුන් ඝාතනය අද ඊයෙක සිදුවන දෙයක් නොවේ. සමහර බෝම්බ ප්‍රහාර ජයතරන්තර මාධ්යයන් පවා වාර්තා කර නෑ. ඇමෙරිකාවේ හෝ බ්‍රිතානයේ සිදුවන සුළු බෝම්බ ප්රමහාර තරම්වත් ජාත්යාන්තර අවධානයක් සිරියාවේ සිදුවන සුවිශාල මිනිස් සංහාරයට ලබා නොදීම කණගාටුවට කරුණක් වගේම බටහිර රටවල යුධ හිතකාමී ප්‍රතිපත්තියද මෙයින් පෙන්වනවා.
යුද්ධය කොයිතරම් කුරුරුද යන්නට හොඳම සාක්ෂි සැපයු මේ ගුවන් ප්‍රහාර සඳහා අනුග්‍රහය දක්වන්නේ රජයට පාක්ෂික බටහිර රටවල්ය. ආයුධ වෙළඳාම සඳහා ප්‍රසිද්දියක් උසුලන එක්සත් ජනපදය කර්ලිකරුවන්ටත්,ආයුධ වෙළඳාම සඳහා ප්‍රසිද්දියක් උසුලන රුසියාව හා ඉරානය හමුදා හා මුල්ය බලයත්, සෞදි අරාබිය, තුර්කිය යන රටවල මුල්ය් හා ආයුධ ආධාරද ලෙබනනය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය. ඉරානය, යේමනය හමුදාභට පිරිස් ලබදෙමින්ද සිරියානු රජයට සහයෝගය දක්වයි. ත්‍රස්‌තවාදයට එරෙහිව ගෙනයන යුද්ධයක් ලෙස මෙම රටවල් මෙය අර්ථකථනය කොට දැක්වුවත් මෙහි සැබෑ කතාව සෝචනීය පටන්ගැන්මක් වගේම ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වයටද ආදර්ශයක්. රැකියා වියුක්තිය, සෑම ආයතනික මට්ටමින්ම විහිදී ගිය දුෂණ හා වංචා, ආර්ථික අවපාතය හා දේශපාලන නිදහස අහිමි කිරීම යන හේතු මත 2011, මාර්තු මස සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිරියානු වැසියන් පෙළපාලි පැවැත්වුවා. ඔවුන් ඉල්ලා සිටියේ ජනාධිපති බශාර් අල් අසාර්ඩ්ට ඉල්ලා අස්වන ලෙසයි. නමුත් රජයේ හමුදා යොදවා රජය ඊට දැක්වුයේ දැඩි අමානුෂික ක්‍රියාමාර්ගයක් වන අතර ඔවුන් කැරලිකරුවන් දඩයම් කරන්නට පටන් ගත්ත. මෙයින් වාසි ගත් විරුද්ද පක්ෂය බටහිර සහයද ඇතිව කැරලිකරුවන්ට ආයුධ ලබාදී ඔවුන් සටන්කාමීන් බවට පත්කලා. මෙයින් පටන්ගත් සිරියානු සිවිල් යුද්ධය දරුණු වුයේ රුසියාව ඉරානය වැනි රටවල සහයෝගය අසර්ඩ්ගේ රජයට ලැබීමත් සමඟයි. කැරලිකරුවන් කණ්ඩායම් කීපයකට බෙදී ගියා, කුර්දිෂ් ගරිල්ලන්, නිදහස් සටන්කාමීන්, ජිහාඩ් කරලිකරුවන් හා ඉස්ලාම් ස්ටේට් නොහොත් අයිඑස්අයිඑස් ලෙස. මේ නිසාම බටහිර රටවල දැඩි බලපෑම හා සහයෝගය මේ යුද්ධයට ලැබුණා. කිසිම හේතුවකට නැවත පාවිච්චි නොකිරීමට එකඟතා ගිවිසුම් පවා රටවල් අතර ඇති රසායනික අවි භාවිතය මෑත කාලයේදී පාවිච්චි කල එකම යුද්ධය වන්නේද මෙයයි. ඒ 2017, අප්‍රේල් මාසයේදී, සියගණනක් මිනිසුන් හා දරුවන් මේ ප්රජහාරයෙන් මියගියා. සමහර ජාතියන්තර මාධ්යේ මේවා වර්තකිරිමටවත් පෙලබුනේ නෑ.
බොහෝ රටවල මිනිසුන්ට සිරියානු මිනිසුන්ගේ දුක දැනුනේ නෑ. මේ පිලිබඳ සමාජ මාධ්ය පවා හඬ නැගුවේ අඩුවෙන්. සාමකාමී රට ජීවත්වීමේ අයිතිය වංචාකාරී කුහක දේශපාලනය විසින් උදුරා දැමුවා පමණක් නොව මේ මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලාසිටිද්දී ඔවුන්ගෙන් ඒ නිදහසද අහිමි කරනු ලැබුවා. කිසිවක් නොලැබූ ඔවුන් දේශපාලනය නිසා බිහිවූ ත්‍රස්‌තවාදීන් හා තමන්ගේම රජයේ ගොදුරු බවට පත්වෙලා. අවසානයේ තමන්ගේ දරුවන් අසල්වාසීන් කැලිවලට කැඩී මරාදමන හැටි ඔවුන්ට බලාසිටීමට සිදුවී තිබෙනවා. තමන්ගේ දරුවන් ත්‍රස්තවාදී සංවිධානවලින් බලෙන් පැහැරගෙන යන තුරු මේ මිනිසුන්ට බලා සිටින්න සිදුවෙලා. මීට සම්බන්ධ එක් පාර්ශවයක්වත් සාමකාමී විසදුමකට එන්න සුදානම් නෑ. 2012දී, 2014දී හා 2016දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම පාර්ශව සමගි කිරීමට ගත් සියලු උත්සාහයන් බිඳ වැටුනේ අහිංසක සිරියානු වැසියන් තව තවත් මරණයට ලඟා කරමින්. එසේම දැනටත් කැරලිකරුවන් විසින් පාලනය කරන ප්‍රදේශවලට මිලියන 4.9 ජනතාවට ලඟාවීමට ආධාර කණ්ඩායම්වලට ඉඩ දෙන්නේ නෑ. දැනට මිලියන 6.3ක ජනතාව අවතැන් වී සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4 කට වඩා වැඩි මුදලක් මොනයම් ක්රටමයකට හෝ ආධාර අවශ්යල මිලියන 13.5ක ජනතාව වෙනුවෙන් ලබාදීමටද ලෝක ආර්ථිකයට සිදුවන බවයි.
මේ යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශවයන් අවසානයේ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ...මිනිසුන්ගෙන් තොර හිස් භූමියක්ද ... මෙසේ මේ දරුවන් මරාදමා තමන්ගේ දරුවන්ගේ අනාගතයද ඔවුන් ප්‍රර්ථනා කරන්නේ.... යුද්ධයක් කියන්නේ හිස් දෙයක් කියන්න මීට වඩා උදාහරණ නෑ . අවසානයේ ලැබෙන දෙයක් තියෙනවද... මිනිසුන් මරා දමා ලබාගන්නා නිදහස කුමක්ද ... දේශපාලනයට ඕන විදියට බටහිට රටවලට ඕන විදියට ආයුධ වෙළඳාමට ඕන විදියට ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය තීරණය කල හැකිද, මිනිස්සුන්ගේ ජිවිත තීරණය කල හැකිද...... බටහිර රටවල් විසින් බිහිකරන ත්‍රස්‌තවාදයේ ගොදුරු බවට අපේ දරුවන් පත්කළ යුතුද ... ලෝකයේ අනාගතය දරුවන්.... මෙසේ ඔවුන් මරා දමා රකින ලෝකයේ තේරුම මොකක්ද ... මොකක්ද මේ ලෝකයේ අනාගතය ... යුද්ධයක් නිසා දුර්වලවෙන හා බලපෑමට ලක්වෙන් පළමු මිනිස් කොටස වන්නේ දරුවන් ... මෙය එසේම බවට ශ්‍රී ලංකික අපට බොහෝ අත්දැකීම් තියෙනවා. දරුවන් මරා දමා අවසානයේ ලබාගන්නා සාමයෙන් ඇති ඵලය කුමක්ද ?
දේශපාලඥයින් විසින් ඔවුන්ගේ සුඛ විහරණයට නැවත නැවතත් අවුස්සන ශ්‍රී ලංකාවේ ඇති කරවූ වර්ගවාදයට සාමාන්‍ය මිනිසුන් වූ අප කල්පනාකාරීව මුහුණ දියයුතු වන්නේය. අපි තවත් සිරියාවක් බවට අපේ රට පත් නොකරගැනීමට වගබලා ගතයුතුය.

කල්පනා අඹේපිටිය 
කථිකාචාර්යය 
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 

Comments

Popular posts from this blog