අලි කොලර් දැමීම
මේ හා සන්බන්ධව ජතියන්තරයේ වැඩ කරන හා අලි ඇතුන් සංරක්ෂණය, කොලර් භාවිතය පිලිබඳ ප්‍රයෝගිකව පුහුණු වූ මගේ විදේශීය මිතුරෙකුගෙන් විමසුවෙමි.
1. මෙය ලේසි පහසු කාර්යයක් නොවන අතර හොඳින් පුහුණු වූ පිරිසක් විසින් මනාව සැලසුම් සහිතව කරන කාර්යයකි.
2. සිහි නැති කිරීමට යොදාගන්න බෙහෙත් වර්ග වලට මිනිස් සම බෙහෙවින් සංවේදී බැවින් ඉතා පරෙස්සමින් එය භාවිතා කල යුතුය. ජාතියන්තර පිළිගනිම නම් මෙම එන්නත් කිරීම සිදුකකල යුත්තේ පශු වෛද්‍යවරයෙක් විසින් පමණි. එන්නත් කිරීමෙන් පසු විනාඩි 5ත් 15ත් අතර කාලයේදී බෙහෙත ක්‍රියාකිරීමට පටන් ගනී. එතෙක් සතා ඇදවැටෙන තුරු පසුපස ලුහුබදිය යුතුය.
3. රංචුවක සිටි අයෙක් නම් රංචුවේ සාමාජිකයන් උදව්වට පැමිණිය හැක. ඒ නිසා මිනිස් කණ්ඩායමේ ජිවිත ආරක්ෂාව ගැනද සැලකිලිමත්විය යුතුය.
4. දැනට තිබෙන වැඩිදියුණු කල තත්වය අනුව මේ බෙහෙත් වර්ගත්, එන්නත් කිරීමත් මගින් සතුන්ට ජිවිත හානි නොවී කාර්යය ඉටුකරගත හැක.
5. ලංකාවේ නම් දැනට sedation for standing ක්‍රමය යොදාගනී. මෙය සත්වයාට සිදුවන හානිය අවම කරයි. මොකද ඇදවැටීමක් නොවීමත් හුස්මගැනීමට පහසුවීමත් ඇදවටිමකදී හොඩවැල ශරීරයට යටවීමේ අවධානමක් නොමැති වීමත් නිසා. නමුත් මෙසේ කොලර් දැමීමේදී මිනිස් කණ්ඩායමට විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදුවේ. දැඩි ක්‍රියාකාරී දරුණු ගනයේ අලියෙකු නම් මිනිස්සුන්ට පහරදීමටද පුළුවන්. එසේම අලියට කොලරය පැළදවීමේදී උස සන්බන්ධ ගැටළු නිසා කොලරය පැළදවීමේ අපහසුතා ඇතිවිය හැක. අප්‍රිකාව වැනි රටවල අලියා ඇදවැටුණු පසු කොලරය පැලදීම සිදුකරයි. මෙහිදී අධික ශරීර බරට පෙනහළුවලට හානි සිදුවිය හැක. නමුත් අප්‍රිකානු ඇතුන් උසින් වැඩි බැවින්ද මිනිස් ජිවිත අවධානම අඩුකිරීමටද මෙම ක්‍රමය භාවිතා කරයි.
6. කොලරය පළදවන අතරතුර ලේ සාම්පල ගැනීමත් අලියාගේ ශරීරය වතුර දමා තෙත් කිරීමත් තුවාල ඇත්නම් ඒවාට බෙහෙත් කිරීමත් අලියට හුස්මගන්න පහසුවෙන්න හොඩවැල කුඩා stick එකක් ආධාරයෙන් විවුර්තව තැබීමත් කල යුතුය.
7. අලියා දැඩි ක්‍රියාකාරී දරුණු ලෙස හැසිරෙන්නේක්නම් කොලරය පමණක් ලිහිල්ව පැළදවීම සිදු කරයි. ඒ සටන්වලදී හෝ කලහකාරී හැසිරිමකදී ඇතිවන අනතුරු වලක්වා ගැනීමට. කුඩා පැටවෙක් නම් ලිහිල්ව පලදන්නේ ශරීරයේ වැඩිම පහසුව තකාය. නමුත් පැටවා සිටින්නේ මව සමඟ නම් බොහෝවිට කොලරය මවට පැලදීම සිදුකරයි.
8. කොලරය පැළදවීමෙන් පසු නැවත සිහිය ලබාගැනීමට කන් පෙත්තකට එන්නතක් විදිනු ලැබේ. ඊට පෙර සියලුදෙනා අදාල සිමාවෙන් ඉවත්විය යුතුය. විනාඩි 3-5 අතර කාලයේදී අලියාට නැවත නැගීසිටීමට හැකිය.
9. අලින් විසින් මෙතෙක් කොලර් ගලවා ගැනීමක් ඔවුන්ට වාර්තා වී නැත. නමුත් රැහේ අනෙතුත් සාමාජිකයන් එකිනෙකාගේ කොලර් ගලවා දැමීමට කල උත්සාහයන් වාර්තා වී ඇත.
10. අලි කොලර් කිරීම මගින් ඔවුන්ගේ හැසිරීම, චර්යාව භුමි භාවිතය හා එහි සම්භන්ධය, අහාර රටාව හදුනාගත හැකිය. මෙම තාක්ෂනය හරහා සතුන්ගේ චලනය හෝ චලනය නොවීමත් මත තුවාල සිදුවී හෝ අනතුරක් සිදුවී ඇතිබව හදුනාගත හැකියි. මෙයින් සතාගේ ගමනාගමනය අනුව හේනකට හෝ කුඹුරකට කඩාවැදීමත් අලි-මිනිස් ගැටුමක පෙර සලකුණුත් හදුනාගන්න පුළුවන්.
11. දඩයම්වලින් අලි ජිවිත බේරාගැනීමට තවමත් මෙයින් හැකියාවක් නැති වුනත් එවැනි තාක්ෂණයක් විශ්වවිද්‍යාල මට්ටමින් පර්යේෂණවල පවතී.
12. අලියෙකුට කරදරක් වන මේ කොලර් වෙනුවට මයික්‍රෝ චිප් භාවිතයද කල හැකි වුවත් එය ඉතා මිල අධිකය.
13. අලි රංචුවක නම් කොලර් පැලදීම වැඩිහිටි ඇතින්නකට හෝ කෙනෙරකට සිදු කරයි. ඇය රංචුවේ නායකයා වීමත් සෙස්සන් ඇයව අනුගමනය කිරීමත් නිසා ඇයත් සමඟ අනෙකුන් නිරීක්ෂණය කිරීම ඉතා පහසුයි.
14. එසේම මෙම අලි කොලර් බැටරි එකක ආයු කාලය අවුරුදු 1-3ත් අතර වේ.


කල්පනා අඹේපිටිය 
කථිකාචාර්යය 
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 

Comments

Popular posts from this blog