Be a cyclist ....
ජර්මනිය, ස්වීඩනය ප්‍රංශය වගේ යුරෝපා රටවල් වගේම ආසියාවේ බලවතුන් වන ජපානය චීනය වගේ රටවල බයිසිකල් භාවිතය එදිනෙදා ගමනාගමනයට භාවිතා කරනවා නිරන්තරයෙන් දකින්න පුළුවන්. වෙන දෙයක් තියා නෙදර්ලන්තයේ අගමැතිත් හැමදාම රාජකාරියට යන්නේ බයිසිකලයෙන්. ඉතින් මේ බයිසිකල් කතාව කරලියට ආවේ හේතු කියපයක් නිසා. ගෝලීය උණුසුම ඉහළයාමට බලපාන හරිතාගාර වයුවක්වන කාබන් ඩයොක්සයිඩ් වාහනවල ඉන්ධන දහනය නිසා වැඩිවන බවට විද්‍යාත්මකව සොයා ගැනීමත්(ඇත්තෙන්ම වැඩි හරිතාගාර වායු විමෝචනයක් සිදුවන්නේ ගොවිපල කර්මාන්තය නිසා) මගින් ඉන්ධන අවශ්‍ය නොවන බයිසිකලය තිරසාර භාණ්ඩයක් බවටත් පත්වීමත් ශුන්‍ය වීගෙන යන පොසිල ඉන්ධන ඉතිරි කරගැනීමට මිනිසුන් පෙලම්බවිමත්, රථවාහන තදබදයට පිලියමක් ලෙස දැකීමත්, නාගරික ශබ්ද දුෂණය අවම කරන ප්‍රවාහන මාධ්‍යක් ලෙසත්, තිරසාර පරිභෝජන රටාවකට ජනයා හුරුකිරීමෙන් සම්පත් බෙදීයාමේ විෂමතාවය අවම කරගැනීමේ ක්‍රමයක් ලෙසත්, ව්‍යායාම අඩු කාර්යබහුල ජිවිත ගෙවන මිනිස්සුන්ගේ සෞඛ්‍ය රැකගන්නා මාර්ගයක් ලෙසත් බොහෝ සංවර්ධිත රටවල් බයිසිකලය ප්‍රවර්ධනය කරයි. මේක ඉතින් මෙහෙම ලියද්දිත් හරි ලස්සනයි. මේ රටවල් පරිසරය රැකගන්න ආර්ථිකය රැකගන්න කරන කැපවීම කියලා හිතෙනවා. ඉතින් සංවර්ධිත ඒ රටවල් වාහන නිෂ්පාදනය කරන ගමන් බයිසිකල්වලට හැරෙද්දී සංවර්ධනය වෙමින් පවතින අපි ඒ රටවල වාහන මෙහෙට ආනයනය කරන ගමන් කාර් එකේම මීටර් සියයක් එහායින් තියෙන කඩේටත් යනවා. අනේ අපොයි අපි මෙහෙම නැත්තේ ඇයි කියල කාටහරි කියවෙන්නත් පුළුවන්. එත් ....
කොළඹ මෙහෙම වෙන්න කියන එක නම් අමු මෝඩ කතාවක්. ලෝකේ අනිත් රටවල් එහෙම වුණාට ලංකාවේ නාගරික පරිසරයට, ඒ කියන්නේ විශේෂයෙන් කොළඹට මෙහෙම වෙන්න කියන එක විහිලු කතාවක්. අභ්‍යන්තර සංක්‍රමණය සිද්ධවෙන්නේ කොළඹට, එන්න එන්න ජනගහණය වැඩි, ජීවිතය දිනන්න ගොඩක් අය එන්නේ කොළඹ. ඒ එතෙක් මෙතෙක් හිටපු රටේ නායකයෝ කොළඹ සංවර්ධනය ගැන පමණක් හිතපු නිසා හා තවත් වානිජ්‍ය නගර රට අභ්‍යන්තරයේ ස්ථාපිත නොකිරීමේ ප්‍රතිපලයක් ලෙස. ඉතින් මේ අස්සේ උදේ 5 ඉඳල තමන්ගේ වාහනේන් හැමදාම කොළඹ එන මනුස්සයෙක්ට බයිසිකලයකින් එන්න කියන්න පුලුවන්ද? නගර මධ්‍යයේ බයිසිකල්වලින් ගමන් කරන්න මංතීරු නෑ. අනික හැමෝම බයිසිකල්වලින් කොළඹ පාරවල්වල ගියොත් මේ තියෙන තදබදය දහගුණයකින් පමණ වැඩි වෙනවා. ඒ වගේම සමහර රියදුරන් රථ ධාවනය කරන විදියට මිනිස්සු බයිසිකල්වලින් යන්න ගත්තොත් ගිලන් රථත් පස්සෙන් යවන්න වේවි. කාලය ගොඩක් නාස්තිවී ආර්ථික අවාසි විශාල ලෙස ඇතිවේවි. ඉතින් මෙහෙම බලද්දී ලංකාවට තිරසාර ගමනක් යන එක හීනයක් වගේ. එතකොට මොකක්ද මේ පොස්ට් එකෙන් කියන්නේ ? ඇයි ඒක අර රටවලට විතරක් වලංගු ? ඇයි අපිට එහෙම වෙන්න බැරි ? 1. අපි හදාගන්න ඕන අපේ ඔළුගෙඩි, තමන්ගේ කියල සුපිරි වාහනයක යනවට වඩා අපේ ඔළුගෙඩි පුරවගන්න ඕන සුපිරි පොදු ප්‍රවාහන පහසුකම් තියෙන රටක් හදන්න. ඒ පොදු ප්‍රවාහන පහසුකම් රටේ ආර්ථිකය නංවන කාලය ඉතුරුකරන මිනිස්සුන්ගේ ජිවන තත්වය වැඩිකරන තත්වයේ වෙන්න ඕන හරියට අර කලින් කිව ජපානය චීනය ජර්මනිය වගේ. 2. ඔය දේවල් දුවන්න පුනර්ජනනීය බලශක්ති බලාගාර හදන්න ඕන හරියට කොස්ටරිකාව, ස්වීඩනය වගේ. 3. පාරවල් හැදෙන්න ඕන බයිසිකල් මංතීරු ඇවිදින මංතීරු එක්ක , හරියට චීනය, ජර්මනිය වගේ. අධිවේගී පාරවල් වනජීවී නිජභූමි විනශකරගෙන නොයන ඒවා ආරක්ෂාකරන ක්‍රමවේදවලට සකස්විය යුතුයි. ඒ වගේම ඒ පාරවල් ස්වභාවික අපදා අවමවන පරිදි සකස්විය යුතුයි, අයෙත් උදාහරණ විදියට ගන්න තියෙන්නේ අර රටවල්මයි. 4. නගර සංවර්ධන සැලසුම් හා කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම කලයුතුයි, එතනින් හිතෙන හිතෙන තැන්වල කරන ඉදිකිරිම පාලනය වෙනවා හරියට පැරිස් නගරය වගේ. ඒ වගේම අනවසර ගොඩකිරීම නැවතෙනවා. 5. වැදගත්ම එක. ඔය කෝක කරන්නත් ඔලුව ඇති දුෂිත නොවූ ආණ්ඩු බලයට ගෙන අ යුතුයි. රටේ කෑලි එක එක රටවලට බදු දෙන විකුණන ඒවා සංවර්ධනය යයි බ්‍රෑන්ඩ් කරන ආණ්ඩු ගෙදර යැවිය යුතුයි. පාර්ලිමේන්තුවට යා යුත්තේ අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිව් 226ක් පමණි. ඇත්තම කියනවා නම් 226ක් ඕන නෑ. අපි කතා කරන්නේ නාස්තිය අවම කිරීම ගැනනේ. පින් බත් දෙන එක නවත්වමු. දුෂිත නොවූ හොඳ ඔළුගෙඩි 30ක් හිටියනම් ඇති රට හදන්න. නැවුම් දේශපාලන ව්‍යාපාරයක් රටට කරන දෙයක් නෑ කියන එක යල් පැනගිය වත්මන් දේශපාලන ව්‍යහුයේ කපටි තුරුම්පුවක් පමණකි. ඒ ඔවුන් සදා බලයේ ඉන්න ජනතාවගේ හිසට ගැසූ මරාල ඇණයක් පමණි. ඒ නිසා නැවත මුලටම එමි. 1. අපි හදාගන්න ඕන අපේ ඔළුගෙඩි.
කල්පනා අඹේපිටිය
කථිකාචාර්යය
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය.
Comments
Post a Comment