විශ්වවිද්‍යාල හා නවකවදය
බොහෝ මිනිසුන් පටලවා ගන්නා තැනකී. විශ්වවිද්‍යාලයට ගියපු හා නොගියපු අය පටලවා ගන්නා තැනකී. අපි නම් අපේ දරුවෝ යවන්නේ නෑ කියලා වලිගේ පාගා ගන්නා තැනකී. විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා සියලු සිසු දරුවන් මානසික ව්‍යාදීන් යයි හිතන තැනකී. විශ්වවිද්‍යාල සමඟ උපන් තරහක් ඇති අය පළිය ගැනීමට යොදගන්නා තැනකී. විශ්වවිද්‍යාලවල දරුවන්ට ඒ විශ්වවිද්‍යාලවල නමට දොස්පරොස් තියන්න ගත්විට අහිංසක දුප්පත් මිනිහාගේ පුතා දුව ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් කළමණාකාරුවෙක් කළ හැකි තැනක් බව අමතකවන පිරිසකී. ප්‍රමිතියකින් තොර පෞද්ගලික අධ්‍යාපන ආයතන විවෘත කිරීමට ඒවාට ළමයින් ආකර්ශනය කරගැනීමට පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතන පාවිච්චි කරනා තැනකී.
ඉතින් කාලය වැය කරමින් මෙය ලියමී. විශ්වවිද්‍යාල වෙනුවෙන් ලියමී. ‍රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙනගත් කෙනෙක් ලෙස ලියමී. රාජ්‍ය විශ්වවිද්‍යාලයක උගන්වන කෙනෙක් ලෙස ලියමී. ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික පියෙකුගේ දියනීයකවී නිදහස් අධ්‍යාපනයෙන් උපරිම පළ නෙලා ගත් කෙනෙකු ලෙස ලියමී. නවකවදය නොවිඳ ඒත් එක දැක ඇති අසා ඇති කෙනෙක් ලෙස ලියමී. පිකටින්වලට නොගොස් එත් පිකටින්වලදී පොලිසියෙන් ගුටිකාපු දරුවන් රෝහල් ගත කර ඇතිකෙනෙකුන් ලෙස ලියමී. පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උගන්වපු කෙනෙක් ලෙස ලියමී.
1. විශ්වවිද්‍යාලවල දරුවන්ගෙන් ඉතා අතලොස්සක් නවකවදය උපසංස්කෘතියේ සිටි. ඔවුන් බොහෝ දෙනෙකු අමානුෂික නවකවදයට දැඩිව විරුද්දය. එම නිසා ඔවුන් සියල්ල මානසික ව්‍යාදීන් නොවේ. දරුවන් 5000කට මෙවැන්නන් 10ක් පමණ සිටිය හැක. ඔවුන් බැඳ දැමිය යුතු බව එදත් අදත් කියමී.
2. එක් එක් සමාජ මට්ටම්වලින් පැමිණි අප පොලොවේ පය ගසා ජීවත්වීමට විශ්වවිද්‍යාලය තුළදි ඉගෙන ගත්තෙමු. අඩුව කැඩුනු කොප්පයෙන් ප්ලෙන්ටියක් බොන්න, රුපියල් 20 රස කියන එක ගැවිලාවත් නැති බත් පැකට් එක බෙදාගෙන කන්න, මළ ගෙයක් වුනාම බස් පිටින් ගොස් ගෙදර කිසි කෙනෙකුට වැඩක් කරන්න නොදී සියලු දේ බැච් එකේ ලමයින් විසින්ම කරන සංස්කෘතියක් අපි වින්ඳෙමු. කාර් එකකින් බැහැලා බ්‍රෙඩ් ටෝක් එකෙන් කාලා ජයරත්න එකෙන් මළ ගෙදර කරන එකට වඩා අපි මනුස්සකම හැඳින්නෙමු. ලමයින්ගේ දුප්පත්කම දැක්කෙමු. එකා මෙන් නැගි සිටින හැටි අත්වින්ඳෙමු. සමාජයට වැඩක් කරන්න ඕනය කියන අදහස මුළින්ම ආවේ ඔන්න ඔය දේවල් දුටු නිසයී.
2. ඒ සියලු ලමයි සමාජයේ හොඳ තැන්වල අද සිටී. නමුත් ඔවුන් දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් වූහ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය නැත්නම් කිසිසෙත් ඔවුන් මේ තැන අද නැත. එය මටත් 100% ක් අදාලය.
3. නවක වදය හා විශ්වවිද්‍යාල යනු දෙකකී. අපේ විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාලයයන් ය. වෙනත් රටකට යාමේදී ශිෂත්වයක් ඉල්ලුම් කිරිමේදී රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් තිබිම කොතරම් වටිනවා දැයි ඒ අත්දැකිම ඇති ඔබ මා හා එකඟ වනු ඇත. ලෝක ශ්‍රේණිගත කිරිම්වලදී අපි පසුගාමි වුනට මේ අවස්ථාවන් අපේ උපාධිවලට බොහෝවිට ලැබේ. පෞද්ගලික අංශය තොරා ගන්නේ නම් ඒ අදාල විශ්වවිද්‍යාලයේ ලෝක ශ්‍රේණිගත කිරීම පමණක් නොව අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ඇතිදැයි සොයා බලන්න. සමහරක් මෙවැනි තැන් උපාධිකඩ පමණක්ම බව ඔබට වැටහෙනු ඇත. ඉංග්‍රිසි පමණක් පුලුවන් වී අනෙකුත් දේවල් නොහැකිවන පිරිසක් ඒ මඟින් බිහිවන බව අප දැක ඇත්‍තෙමු. රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකට සම ප්‍රමිතියක් තාමත් නැත. එය පිහිටුවීම ඉතා අවශ්‍යවේ.
4. රාජ්‍ය විශ්වවිද්‍යාලයයන් තුළ දරුවන්ට බොහෝ ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ අවස්ථාව ලැබේ. ඒවා වෙනත් ආයතන මගින් නොලැබෙනු ඇත. අතලොස්සක් වු මානසික ලෙඩ්ඩුන්ට බයේ තේරි පත්වුවත් විශ්වවිද්‍යාලයට නොයෑම ජීවිතයේ ගන්නා බොහෝම දුර්වල තීරනයක් විය හැකීය. එහෙම අයට ලෝකය දිනිය නොහැකිය.
5. පෞද්ගලික පාසල්වලට යන පිරිස, පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන පිරිස කියනවා ඔවුන් රටට ණය නෑ කියලා. ඔවුන් ණය බව ඔවුන්ට අමතකයී. ඔවුන්ට ඉගැන්වු ගුරුවරු ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ දෙමාපියන්ගේ අධ්‍යාපනය, ඔය වගේ සොච්චම් ගානකට අධ්‍යාපනය ලබා දුන් රාජ්‍ය මුල්‍ය හා පටිපාටි මත ගොඩනැගු ඒ සිස්ටම් එක යන සියල්ලට යොදවා ඇත්‍තේ මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලී හා නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල බව කවුරුත් අමතක කළ යුතු නැත.
6. ශ්‍රී ලංකාවේ ජනතාව රැක ගත යුතු දේවල් දෙකක් තිබේ. ඒ නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යයී. මෑත කාලීන පුවතක සඳහ වුනා කොන්දොස්තර මහතෙකු තම දරුවන් හතර දෙනාම ඉංජිනේරුවන් කළබව. මම ඔබෙන් ප්‍රශ්නයක්සමී. නිදහස් අධ්‍යාපනය නොතිබුණා නම් එය එසේ වේවීද? එසේ නම් ඒ දරුවන් කොහේ සිටි දැයි ඔබට නිසැකවම කිව හැකිවනු ඇත. නිදහස් අධ්‍යාපනයේ ආශ්චර්ය එයයී.
7. ඉතින් ඔබ විශ්වවිද්‍යාලයකට නොගිය කෙනෙකු වුවත් ඔබේ දරුවන් විශ්වවිද්‍යාලයට යැවීම ඔබට බලාපොරොත්තුවක් විය හැක. ඒ අධ්‍යාපනයෙන් ලොව සියල්ල වෙනස් කලහැකි බව ඔබ දන්නා නිසාය. දුප්පත්කම එක්ක සටන් කළ හැකි එකම දේ මේ අධ්‍යාපනය නිසාය. නිදහස් අධ්‍යාපනය අප රැක ගත යුත්‍තේ ඒ නිසයී. එම නිසා අපි
1. නිදහස් අධ්‍යාපනය ‍රැකගත යුතුය. ඒ තියෙන කෙනාට හා නැති කෙනා යන දෙපාර්ශවයටමය.
2. අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලය රැක ගත යුතුය. ඒ දැනුම හා හැකීයාව සහිත දක්ෂ යහපත් පුරවැසියන් පිරිසක් බිහි කරන්නටය. අනාගත නායකයින් බිහිකරන්නටය. ඒයින් පිට යන සියල්ල ඒ තුළින් ඉවත් කළ යුතුය. එම නිසා අමානුෂික නවකවදය ඉවත් කළ යුතුය. මානසික ව්‍යාධීන් අංගොඩ යැවිය යුතුය. අපරාධ කළ වුන් හිරේට යැවිය යුතුය.
එම නිසා ඔබ විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනි සිටින්න. නවකවදය නාමයෙන් විශ්වවිද්‍යාලවලට අපහස කොට පහත් කොට ඔබේ දරුවාගේම අනාගතය විනාශ නොකරගන්න. එසේ කරොත් එවැනි දේවලින් ප්‍රයොජන ගන්න ඉන්න මේ රටේ අමන දෙශපාලුවන් බලාගෙන සිටින බවද අමතක නොකරන්න.



ආචාර්‍යය කල්පනා අඹේපිටිය 

Comments

  1. ඔබේ ලියවිල්ල අතීතයේ මිහිරි මතකයන්ට මාව රැගෙන ගියා. ඒ වගේම පෙන්වා දෙන කරුණුවලට මම ද එකඟ වෙමි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog