අලි ඇතුන්ගේ ඉතිහාසගත වැදගත්කම

පහුගිය දවස්වල අලි ඇතුන් ගැන කතා කරපු පිරිසගෙන් අනෙක් පාර්ශව අහපු ප්රශ්නයක් තමයි ඇයි "අලි විතරක්" කියන එක. බොහෝ අයට සාධනීය ප්රායෝගික පිලිතුරක් දෙන්න අපොසත් වුනත් අලි ඇතුන් ගැන හැදෑරිමක් ඇති කීපදෙනෙක් ජෛව විද්යාත්මකව වටිනා පිළිතුරු ලබා දීලා තිබුනා. අලිත් අනෙක් සතුන් වගේමයි කියන අයට ඉතිහාසයේ අලි ඇතුන් වෙනුවෙන් තිබු තැන ගැන සාක්ෂියක්.

ශ්රී ලංකාවේ අන්තර් මානව සම්බන්ධතා ඉතිහාසය අපි නොහිතන තරම් දුරකට යනවා. ඒ අතරින් වෙළඳාම, දේශගවේෂණය හා ආගම් ව්යාප්තිය නිසා විවිධ රටවල පිරිස අපේ රටට පැමිණ තිබෙනවා. වෙළඳාම සම්බන්ධයෙන් ඒ අතරින් චීනය හා අරාබිය පළමුවන සියවසේ සිට අප සමඟ ගණුදෙනු කළ රටවල්. එසේම අපේ රටේ දූත පිරීස් නොයෙක් කාරණා සඳහා රාජකාරි සංචාරවල නිරතවූ බවට රාජාවලියේ පුවත්වල සඳහන්. අපේ රටේ පිහිටීම හා තිබු ස්වභාවික සම්පත් නිසා පෙරදිග වෙළඳාමේ අවදානයට තදින්ම හසුවීම වළක්වන්න බෑ. එම නිසා පෘතුගුසී ලන්දේසි සහ ඉංග්රීසි ආක්රමණයන්ට අපි අසු වුනා.
එසේ ආ ගිය අය ලංකාව විශේෂකොට සළකලා තිබුනු එක පුරුකක් තමයි ලංකාවේ අලි ඇතුන්. විදේශ වෙළඳාමේ ඉහළින්ම තිබුනේ අලි ඇතුන්( පෞද්ගලිකවම මම ඉතාම අකමැති වුනත් අලි ඇතුන් වෙළඳාම ඉතිහාසයේ ලියවී හමාරයී. අනුමත නොකළත් දැන් ඉතිහාසය ගැන කියන්න වෙද්දි ඒ ගැන ලියන්න වෙනවා). ඉතින් මේ වගේ ලංකාවට ආපු නාවිකයින් තම මතක සටහන්වල ලංකාවේ අලි ඇතුන් ගැන කරුණු ලියලා තියෙනවා. දෙවන සියවසේදී ඉන්දියන් සාගරයේ යාත්රා කළ ඩයනෝසියස් පෙරිගේට්ස් නම් ග්රීක නාවිකයා ශ්රී ලංකාව හඳුන්වා ඇත්තේ ආසියානු ප්රභවයක් ඇති හස්තින්ගේ මවුබිම ලෙස (රූප 1) රට තුළට ගලා ආ ධනයේ ප්රධාන සාධකයක් ලෙස ඉතිහාසයේ හස්ති පරපුර හැඳින්වෙනවා. ඒක එහෙම නම් අද ඉන්න ඔබත් මමත් අලි ඇතුන්ට බොහෝ ණය බව අමතක කරන්න එපා. ඔවුන් ස්වභාව ධර්මයට අයත් ඒත් ඔවුන් විකුණා අපි ආර්ථිකය සරි කරගත් බව නිතර මතක් කරගන්න. කොටින්ම අපි අපේ රටේ ඇත් පරපුරට ණයයී.
දෙවන කාරණය වන්නේ පෘතුගීසීන් විසින් ලංකාව තම පාලනයට ගත්තාම ඒ ඒ ප්රදේශයේ තියෙන ස්වීශේෂීත්වය මත එම පලාත්වලට අදාල වෙනම පාලන ප්රදේශය නම් සහා පලාත් ලාංචන යෙදුවා ( රූප 2). ඒ අතරින් ශ්රී ලංකාව තමන්ගේ යටත් විජීතයක් ලෙස සැළකු ලාංචනය ලෙස යොදා ගත්තේ හස්තියෙක්ව. ඒ කියන්නේ මුළු රටේම ලාංචනයේ සිටියේ හස්තියෙක් ( රූප 3)
ආසියානු සම්බවයක් ඇති හස්තින්ගේ මවුබිම ලෙස හඳුන්වන්නත් රාජ්ය ලාංචනය ලෙස හස්තියෙන් යොදාගන්නත් මොන තරම් හස්ති ජනගහනයක් ඒ වෙද්දි රටේ ඉන්න ඇද්ද? අපනයනයට රට පටවන්නත් දළ සඳහා ඝාතනය කරන්නත් විනෝදය සඳහා වෙඩි තියන්නත් අරන් ඒ හස්ති පරපුර විනාශ කරන්න පෘතුගිසී ලන්දේසි සහ ප්රබලවම ඉංග්රිසීන් දායක වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට වහල්කම් කළ කොන්ද පණ නැති සිංහල රදළයෝත් ඒ සමානවම ඒ අපරාධයට වගකියන්න ඕන. සුද්දා හිටියා නම් අපිට මෙහෙම වෙන්නේ නෑ කියන එකට මම කවදත් එකඟ නොවෙන්නේ ඒ නිසා. ඉන්දියාවත් ශ්රී ලංකාවත් කොල්ල කාලා සදාකාලික වහල්ලුන් බිහිකරලා ගියා විතරක් නෙමෙයි අපේ ස්වාභාවික වස්තුව කොල්ල කෑවා.
ඒ කාලේ ඉඳලා ජීවිත අපි වෙනුවෙන් දන්දීපු හස්ති පරපුරට ගරු කරන්න. පින් දෙන්න. දැන්වත් රැකගන්න කට අරින්න.
අපේ ජාතික කොඩියේ සිංහයෙක් වෙනුවට ඉන්න ඕන හස්තියෙක්.





Comments

Popular posts from this blog