කාලෙන් කාලෙට අලුත්වන අලි-දුම්රිය ගැටුම

අලි- දුම්රිය ගැටිම මෙම සිද්ධියත් සමග අලුත් වුවත් මෙය ඉතා පරණ කාරණාවක්. නැවත නැවත කතා කලයුතු එහෙත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍යෙ එසේ කතා නොකරන කාරණාවක්. එක්කෙනෙකුට වැඩි අලි සංඛ්‍යාවක් දුම්රියේ ගැටුනු පලමුවන අවස්තාවද මෙය නොවේ. බොහෝමයක් කාරණා සේම මෙම සිද්ධියේදීද මුලු ලංකාවම ඇවිලී ගොස් ඇත්තේ අලුයට වු ගිනිපුපුරක් මෙනි. කාලයේ වැලිතලාවෙන් එය නැවතත් ඉක්මණින්ම වැසි යනු ඇත. නැවතත් ඇවිස්සෙන්නේ ඊලග අනතුරේදි පමණි. එයත් මෙවැනි සංවේදී දසුන් නිර්මාණය කලහොත් පමණි. දැන් දුම්රිය ඇමතිත් වනජීවීයත් පරිසර ක්‍රියාකාරීනුත් මාධ්‍යත් අලි- දුම්රිය ගැටීම නිසා ඇවිලි තමන්ගේ ආසන රත්වී කරගෙන ඇති කාලයයි. එම නිසා බුකී පොස්ට් හා ඒවා ශේයාර් කරගගැනීම් නිමක් නැත. බැන ගැනීම් නිමක් නැත. ජනතාව වුනත් සිටින්නේ සිදුවූ තෙල් හා දුම්රිය අලාභයට වඩා නැති වු මේ සතුන් පිලිබද කණගාටුවෙනි. එය අපරාධයක් බවත් මෙය නැවැත්විය යුතු බවත් රටේ පාලනයේ තියෙන අවාසනාව නිසා මෙය සිදුවන බවත් පවසයි. (ඊයේ දිනයේ 10 දෙනෙකුගෙ කණ්ඩයමක් සමග කල සාකච්ඡාවක් ඇසුරෙනි).

මොන ක්‍රමයේ විසදුම් ගෙනාවත් පවතින දුම්රිය ක්‍රමය හා පාර (structural change) වෙනස් වනතුරු මෙම අනතුරු සම්පුර්ණයෙන් වැලැක්විය නොහැකිවනු ඇත. එනම් මෙහි සාකච්ඡා වන පරිදි overpass හා underpass සහිත නව දුම්රිය මාර්ග ඉදිවන තුරු මෙය සම්පුර්ණයෙන් වැලැක්විය නොහැකිවනු ඇත. දැනට ඉදිවන සංවර්ධිත ව්‍යාපෘතින් පවා මෙම කාරණාව මගහැර EIA නමට පමණක් සිදුකරන නිසා මෙවැනි ක්‍රියාමාර්ගයක් රජය විසින් ගැනීම මේ කපේට සිදුනොවනු ඇත. සීඝ්‍රගාමි තාක්ශණයෙන් ඉහල දුම්රිය සේවාවක් අත්‍යවශ්‍ය වන අතර  එවැනි නව්‍යකරණයකින් මෙම තත්වය මග හරවා ගත හැකීය. අනෙකුත් රටවල් සංවර්ධනය තාක්ශණයත් එක්ක වනජීවී සංරක්ෂණයත් සිදුවන පරිදි ක්‍රියාත්මක කරන්නේ එසේය. දුම්රිය වේගවත්විය යුතුය. අප වැනි රටක ලාභම ප්‍රවාහන මාධ්‍යය හා ගොඩබිම පහසුම ප්‍රවාහනය මාධ්‍යය මෙයයි. දුම්රිය හිමින් ගියොත් එය ආර්ථික පාඩුවක් වනු ඇත. නමුත් ඉහත දිර්ඝකාලීන විසදුම් නොවන තැන මෙහි සදහන් පරිදි වේග සීමා කිරීම, කාල සටහන වෙනස්කිරීම වැනි ක්‍රමවලට යාමට සිදුවී ඇත.

මෙම ලිපියේ සදහන් පරිදි නිවැරදි ලෙස අලින් දුම්රිය මාර්ග හරහා මාරුවන කාලය හා චර්‍යාව අධික්ෂණය කර ප්‍රතිඵල විශ්ලේශලයෙන් විද්‍යාත්මක් ක්‍රියාමාර්ගයක් ගතයුතුය. එසේ නොමැතිව කිසිදු තාවකාලික ක්‍රමයක් සාර්ථක නොවනු ඇත. සාමානයෙන් අලි රංචුවම කරන්නේ නායකයා අනුගමය කිරීමය, අම්මා ගියොත් පුතා යනවාමය.එම නිසා මොන සංඥාව දැම්මත් ගැටීම සමහරවිට වැළක්විය නොහැකිවනු ඇත. මෙම ලිපියේ සදහන් automated early warning system ක්‍රම දුම්රියට දැනුම් දීමට එය නවත්වා ගැනීමටත් උපකාරීවේ.  කෙසේ නමුත් මෙතෙක් කල් භාවිතා වු ක්‍රම man-centered methods වු අතර elephant-centered method එකක් දියුණුකිරීම අත්‍යවශ්‍යයි. එනම් අලින්ට අලි භාශාවෙන් කිව යුතුය. මේ සදහා විශ්වවිද්‍යාලය හා විද්වතුන්ට විශාල කාර්යභාරයක් තිබෙන අතර විශ්ලේෂණයෙන් නව ක්‍රමවේදයන් හා උපක්‍රම සකස්කල යුතුය. එන්ම් මේ සම්බන්ධ R&D සදහා ආයෝජනය කල යුතු කාලයක් එලඹ ඇත.  ලිපියේ පරිදි මිනිස් ක්‍රියාකාරම් මත අලින්ගේ හැසිරීම වෙනස්වන ආකාරයේ නිරීක්ෂණ කර ඇති බැවින් periodic research මේ සම්බන්ධයෙන් සිදුකල යුතුය. බොහෝමයක් සත්වයින් කාලයත් එක්ක පරිසරයේ ‍යම් වෙනස්කම්වලට යම්තාක්දුරකට හෝ සම්පුර්ණයෙන් අනුගත (adaptation) වේ. එම වෙනස්වීම හොද හෝ නරක දෙපැත්තටම විය හැකිය. ඒ නිසා මේ සදහා භාවිතා කරන තාක්ශණය යාවත්කාලීන කිරීමට අවශ්‍ය බැවින් නිරන්තර අධික්ෂණය අත්‍යවශය කාරනයක් වනු ඇත.

භාවිතාකරන තාක්ශනය හා මාර්ග දෙපස සවිකරන උපකරණ පිලිබදව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කලයුතු අතර එය ග්‍රාමීය සංවර්ධනයේ කොටසක් බවට පත්කරන වැඩසටහන් ක්‍රීයාත්මක කල යුතුයි. එහි වගකීම ඔවුන්ටම පැවරෙන ආදායම් මාරග   ලබාදෙන ක්‍රමවේද සකස්කීරීම මගින් මේ සදහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට හැකිය. එසේ වුවහොත් සවිකරන උපකරණ ගලවාගෙන යාම් වැනි සිද්ධින් අවම කරගත හැකීය.

කෙසේ නමුත් මෙවැනි සිද්දින් වූ පමණින් ඇවිස්සෙන සමාජයක මෙවැනි කතීකාවත් දිර්ඝව නිරන්තරයෙන් සාකච්ඡා කල යුතුමය. විද්වතුන්ගේ පරිසරවේදීන්ගේ වෘත්තිකයින්ගේ හා ජනතාවගේ අදහස් නිරන්තරයෙන් සාකච්ඡාවට ගැනීම යාවත්කාලීන විසදුම් සොයාගැනීමටත් මේ සම්බන්ධයෙන් සියල්ලන්ට අවබොධය ලබාදීමටත් වනජීවීයට සිදුවන හානීය අවම කිරීමටත් හැකිවනු ඇත.

පහතින් අමුණා ඇති ලිපිය මෙම ප්‍රශ්නයට වටිනා ප්‍රවේශයක් ලබාදී ඇති අතර රුහුණු විශ්වවිද්‍යාලයේ පාරිසරික භූගෝල විද්‍යාව පිළිබද කථිකාචාර්ය මංජුල කරුණාරත්න මහතා සමග අද පුවත්පත (19.09.2018) කල සාකච්චාවකි. 

කල්පනා අඹේපිටිය 
කථිකාචාර්ය 
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 

Comments

Popular posts from this blog