සහෝදරයා .... කාලෙකට පස්සේ මොළයට කතා කල ටෙලියක්
ටෙලි නාට්‍ය බැලීම අත ඇරලා දාල හිටියත් අහම්බෙන් ලැබුණු නිවාඩුවක් නිසා කුඹියට සහ සහෝදරයට හුරු වුණා. ටෙලි කලාවට වෙනසක් කල කුඹියෝ තවත් එක් ටෙලියක් ලෙස දැක්කත් එතනින් එහාට ගිය සහෝදරයා ගැන ලිවිය යුතුයි. ටෙලි හෝ සිනමා විචාරණය කාර්යය නොවුනත් සහෝදරයා ගැන ලිවිය යුතුයි. මෙය අතිවිශිෂ්ඨ වන්නේ කැමරා කෝන, භාෂාව, රඟපෑම, අධ්‍යක්ෂණය හෝ සංගීතය නිසා පමණක් නොවේ. මෙහි රහස්‍ය ලෙස ගැබ් කල සමාජයේ සැබෑ අරුතයි. බඩජාරි දේශපාලනය විසින් පෝෂණය කල පාපකාරී ක්‍රමයක උඩු ගං බලා පිහිනන තනි මිනිසුන් ඒ පාපකාරී භූතාත්ම විසින් ගිලගනු ලබන බවත් ඒ භූතාත්ම මුළු සමාජයම ගිලගනිමින් නොකඩවා අප වටා සැරිසරන බවත් මෙහි අපුරුවට පෙන්වනවා. සාධාරණය වෙනුවෙන් තනිව දුවන එවුන් අවසානයේ දුෂණ රැල්ලට අසුවී අසරණ වන බවත් එවැනි ක්‍රමයක නීතිය හිස් බැලුම් බෝලයක් බවත් මෙහි කියවෙනවා.දෙබස්වලට වඩා නිශ්ශබ්දතාවයෙන් පවසන දේ ප්‍රබලයි. මුහුණෙන් පවසන දේ අති ප්‍රභලයි. මිනිස්සුන්ගේ ජීව ශක්තියේ එකතුව, ආදරය, කරුණාව, ධෛර්යය, තමන්ගේ හැඟීම, විශ්වාසය මේ හැමදේම එකට එකතු කරල, ජීවත්වෙන්න කරන උත්සාහය, ඒ හරහා සමාජය වෙනස් කරන්න කරන උත්සාහය අපුරුයි.
තමන්ට ඉතුරු වටිනාම දේ රැගෙන උත්තරාදේවි ඒ පාපකාරී ක්‍රමයෙන් පලා යනවා. ඇය යා යුතුයි, මොකද තනිව වෙනස් කල හැකි දෙයක් නොමැති නිසා. එත් ඇය වගේ කීදෙනෙක්ට එසේ පලා යා හැකිද? ඇයට වඩා බොහෝ අසරණ කී දෙනෙක් මේ පොලෝ තලයේ බයෙන් ගැහි ගැහි ජිවත්වෙනවද කවදා හෝ ඒ පාපකාරී ක්‍රමය වෙනස්වෙයි කියා සිතමින්? සාධාරණයක් බලාපොරොත්තු වෙමින්? පලා යාම පිළිතුරක්ද? නෑ... සහෝදරයා කියනවා අපිට ඕන සමාජේ අපිට නිකන් ලැබෙන්නේ නෑ, ඒක හදාගන්න අපි උත්සහ කරන්න ඕන කියල. කී දෙනෙක් උත්සහ කරනවද? බයේ ගැහි ගැහි මුල්ලකට වෙලා ඉන්න කී දෙනෙක් එලියට ඇවිත් උත්සහ කරනවද රජිව් වගේ අජන්ත වගේ අය එක්ක එකතු වී පිරිස් බලයක් ගොඩනගා ඒ පාපකාරී ක්‍රමය විනාශ කරන්න, එය ගොඩනැගු භුතයන්ව මරා දමන්න. ගොඩක් අය බයයි, බයගුල්ලෝ, නැත්නම් දේශපාලන හෙන්චයියෝ වෙලා තමන්ගේ බඩ වෙනුවෙන්. එහෙමත් නැත්නම් හිස් දේශපාලන ප්‍රතිරූපවල රැස්වලට අන්ධවෙලා. ඒ නිසා වෙන විසදුමක් පෙන්නේ නෑ, හැම චන්දෙකටම පස්සේ කලින් හිටපු මුළු අස්සටම දුවනවා.
තව ජිවිත කීයක් බිලිදෙන්න ඕනද... කවුරුත් නෑ, එකිනෙකා හා බැඳුනු ජනතා බලයකට පුළුවන් ඒ පාපකාරී ක්‍රමය බිහිකළ භුතයින්ව බිලිගන්න. භුතයින්ව මරා දමන්න, රජිව්ව පිච්චුව වගේ පුච්චලා දාන්න. මේ රටේ එක වැලි කැටයක් හරි හොරකම් කරපු තමන්ගේ අම්මා වගේ වෙන මේ පොළොවට වංචා කරපු දේශපාලුවෝ රාජ්‍ය බලයට පත්කරගන්නා තුරු මැරෙන්නේ රජිව් වගේ මිනිස්සු, ඒ නිසා පලා යන්නේ උත්තරාදේවිලා. අවසානයේ රජිව්, අජන්ත වගේ සාධාරණ මිනිස්සු පරාජිතයි.
ඉතින් සහෝදරයා කතා කරන්නේ හැමෝම දන්නා ඇත්තක් ගැන.... මේ ඇත්තට මිනිස්සු බයයි. තේරුණා වුනත් නොතේරුන වගේ ඉන්නවා.
අවසානයේ සංගීතය ගැන නම් ලිවිය යුතුමයි. දඩුබස්නාමානයට පස්සේ ටෙලියක දැනුනු හොඳම සංගීතේ. සංගීතෙට කතා කරන්න පුළුවන් කියල නැවත ඔප්පු කිරීමක්. ටෙලි නිර්මාණ ස්වයං වින්දනයක් පමණක් කරගත් රූකඩ නිර්මාණකරුවන් අතරේ නිර්මාණ කලාවට තියෙන සමාජ වගකීම අපුරුවට ඉටුකළ ටෙලි නාට්‍යයක්. සමාජයට පණිවිඩයක් දීපු කිසිසෙත් සුරංගනා කතාවක් නොවුණු අපේ ලෝකයේ කතාවක්.
පසුවදන: මෙය ලියවුනේ අවසාන කොටස නැරඹීමට පෙර වුනත් අවසාන කොටස නැරඹීමෙන් පසු ඇතිවූ විපරිත බව නිසාම අජන්ත මියයාම සමාජයට හොඳ ආදර්ශයක් දැයි සිතුනා ... එහෙත් දුෂිත අධම බඩජාරි දේශපාලුවන්ගෙන් පිරීගිය රාජතන්ත්‍රයක් හිමි අපේ කාලයේ අරගල කරන වීරයන් මියයනවා ... දිනලා හෝ පැරදිලා ... සමාජය වෙනස්කරන්න බැරුව ...
කල්පනා අඹේපිටිය
කථිකාචාර්ය
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
Comments
Post a Comment